Sunday, January 26, 2014

යන්නට ආසයි ගමේ විහාරෙට..

මහා ලොකු උගත්තු උන, සල්ලිකාරයො උන, මිනිස්සුන්ට ගම අමතක වෙලා.. ගමේ පංසල අමතක වෙලා.. පොඩිකාලෙ තමං ගිය ඉස්කෝලෙ අමතක වෙලා.. ඒත් එහෙම නැති මිනිස්සුත් ඉන්නවා...

බෝපත් සෙලවෙන සිලි සිලි නාදෙන්
දෙසවන් පුරවා සනසාලන්නට
පැන් පොදකින් සුදු මලක් දොවාගෙන
යන්නට ඇත්නම් ගමේ විහාරෙට..

සඳකැන් දහරක උණුසුම විඳගෙන
හද බැතියෙන් මුණි දෙපා වඳින්නට
ළය පතුලේ රැඳි අඳුර නසාලන
එක පහනක් වත් දල්වාලන්නට..
යන්නට ආසයි ගමේ විහාරෙට..

කැටි ගැසී මිදී ගිය සීතල සිතිවිලි
බණ පදයක පොඟවා මෙළෙක් කරන්නට
රළු වදන් ජනිත කළ මුව හසුරාගෙන
ගාථාවක් මුදු සරින් ගයන්නට..
යන්නට ආසයි ගමේ විහාරෙට..

Sunday, January 19, 2014

මල් පෙති පා ගැවසුනු තැන්වල...

මල් පෙති පා ගැවසුනු තැන්වල - අද ඇත්තේ හිස් බව පමණයි..
බැලු බැලු අත පාලුයි..
සියක් දෙනා මැද මා තනිකර දමලා - ඔබ යන්නම යන්න ගිහින්..

මුව පියුමේ රැඳි හසරැල්ලන්
තාමත් මතකේ ශේෂයි..
ඔය මුවගින් ගැයුණා වූ ගීයක්
සවනත යළි යළි රැව්දෙයි..

පුංචි දෙපා මත රඟ දුන් ඔබෙ රූ
මා මනසේ අදටත් පණ දෙයි..
සෙවණැළි අතරේ සරනා හංසිය
මේ මොහොතෙත් මට මැවී පෙනෙයි..

දවසක් ගෙවිලා තවත් රැයක් ඇත ළඟට ඇවිල්ලා..

දවසක් ගෙවිලා තවත් රැයක් ඇත ළඟට ඇවිල්ලා..
දෑසක් දැකගනු පැතුම් පතාලා..
නෙතකට කඳුළක උණුසුම දැනිලා..

සහසක් කුසුමන් හද තුළ පුබුදන දවසක ඇරඹුම පතලා..
උන්නෙමි දිවියට ඔබෙ කිරණින් අරුණෝදේ පතලා..
ගව්වක් දුර ඔබ සිනා සලන විට..
හිනැහුනෙමී මගෙ සතුටයි සිතලා..

ඉරි තැළුනු හිතට දිය බිඳුවක් ඉසිනට පොද වැස්සක් වීලා..
වහින්න එන දින තවත් දුරද ඔබ ඔය අහසින් මිදිලා..
ඒ වැස්සෙන් ඔබ මා තෙමනා විට..
සැනසෙන්නෙමි අත දරුවෙක් විලසා..